අපගේ දැක්ම
මානව හිතවාදී ජනතා සේවයට කැපවූ රාජ්‍ය සේවාවක් ඇති කිරීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැළසුම්සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම අපගේ මෙහෙවර කොට සළකමු.
හැදින්වීම
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ඉපැරණි රාජධානියක් වනඓතිහාසික දඹදෙණි රාජධාණියේ කුලියාපිටිය - නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ව්‍යාප්ත වී ඇත. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 121.36 කින් සමන්විත වන අතර 59502 පමණ ජන සංඛ්‍යාවක් වාසය කරයි. මෙහි ඓතිහාසික සබදතාවය පඩුවස්නුවර මහා පැරකුම්බා යුගය දක්වා විහිදේ. දඹදෙණි යුගවලදි පුත්තලම, හලාවත මුහුදුබඩ දක්වා විහිදුණු ප්‍රධාන මාර්ගය මෙම කොට්ඨාශය හරහා වැටි තිබු බවට සාධක පවති. පනාවිටිය අම්බලම, කරගහගෙදර අම්බලම නිරුපද්‍රිතව අදත් විරාජමාන වන අතර සමකාලින ඓතිහාසික සාධක සපයයි.රුවන්ගිරි කන්ද ආරණ්‍ය සේනාසනය මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර ප්‍රදේශයට මායිම්ව පිහිටා ඇත. අක්කර 75 කින් පමණ සමන්විත රුවන්ගිරි කන්ද වන සෙනසුනේ යෝගි භික්ෂුන් වහන්සේලා අට නමක් පමණ වැඩ වාසය කරයි. ස්වර්ණ පබ්බත , රත්නගිරි පබ්බත යන නම් වලින් පුරාණයේදී මෙම වන සෙනසුන හදුන්වන ලදි.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කෘෂිකර්මයට හිතකර භූගෝලීය සාධක වලින් සමන්විත වේ. විවිධ කෘෂිකාර්මික බෝග මෙහි බහුලව ඇති අතර එළවළු,පළතුරු ඇතුලත් අතුරු බෝග වගාවන් , ගෙවතු වගාවන්,වතු වගාව සහ පොල් වගාව ප්‍රධාන තැනක් ගනි. එමෙන්ම ස්වභාවික සම්පත් ආශ්‍රිත කර්මාන්ත බහුලව දක්නට ලැබේ. කළු ගල් , ගඩොල් , මැටි වලං , පොල් ලී වැනි කර්මාන්ත බහුලව ව්‍යාප්ත වී ඇත. ඊට අමතරව ප්‍රදේශයේ තවත් රැකියා උත්පාදනය කරන කේන්ද්‍රයක් ලෙස කිරි නිෂ්පාදන කටයුතු පෙන්වා දිය හැක. කොට්ඨාශය තුල නිපදවන කිරි නෙස්ලේ , මිල්කෝ , පොල් ත්‍රිකෝණය ආදි විවිධ ආයතන වලින් මිලදි ගනි. ප්‍රදේශයේ ගොවින්ගෙන් 90% ක් පමණ වී වගා කරන අතර යල සහ මහ දෙකන්නයම වගා කටයුතු සිදු කෙරේ.
ප්‍රධාන නගරයක් මෙම කොට්ඨාශය තුළ පිහිටා නොමැත. ආසන්නම නගරය ලෙස කුලියාපිටිය හා නාරම්මල පෙන්වා දිය හැක. කටුපොත නගරයෙන් කොටසක් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේ.
බිහල්පොල,නක්කාවත්ත,හොරොම්බාව,සියඹලාගස්කොටුව,ගල්ගම්මුල්ල,අරක්යාල යන ග්‍රාමීය නගර සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවති. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගොවිජන සේවා මධ්‍යස්ථාන 03 කට අයත් වේ. ඉන් හොරොම්බාව ගොවිජන කේන්ද්‍රය මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල ස්ථානගත වී ඇත. කිතලව හා වැවගම යන ගොවිජන කේන්ද්‍ර කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්ථාන ගත වී ඇත.
මෙම කොට්ඨාශයේ ජනගහනය පිළිබදව සලකා බැලිමේදි මුස්ලිම් ජනගහනය විශාල වශයෙන් ව්‍යාප්ත වී යන කොට්ඨාශයක් ලෙස පෙන්වා දිමට පුළුවන. මේ වන විට කොට්ඨාශයේ මුළු ජනගහනයෙන් 19529 ක් වනුයේ මුස්ලිම් ජනතාවයි. මෙම ජනතාව තම ව්‍යාපාරික කටයුතු වල නිරත වි සිටින පිරිසක් ලෙස පෙන්වා දිය හැකිය. මීට අමතරව තල්ලියද්ද ග්‍රාම නිලධාරි වසමේ මානාව නැමති ගම්මානය තුල සුවිශේෂි වු ජන කොටසක් වන ගාඩි වංශිකයන් වාසය කරයි. වේවැල් උපයෝගි කර ගනිමින් සිය නිෂ්පාදනයන් සිදු කරන අතර එම නිෂ්පාදනයන් රැගෙන ගම් දනව් වලට ගොස් සංචාරක වෙළදාමෙහි නියුක්ත වී තම නිෂ්පාදනයන් අලෙවි කිරීම සිදුකරයි. ඊට අමතරව ඔවුන් හට සහජයෙන්ම උරුමව ඇති හස්ථ ශාස්ත්‍ර කීම ද තම ජිවනෝපාය මාර්ගයක් ලෙස තෝරාගෙන ඇත. වර්තමානයේදි මෙම ජන කොටස් වල ජීවන රටාවන් වෙනස් වී ඇත. ව්‍යාපාරික කටයුතු , අධ්‍යාපනය, කෘෂිකාර්මික කටයුතු වෙතට ඔවුන් අනුගත වී ඇති අතර සාම්ප්‍රදායික කරගෙන ආ දේ නවීකරණය වී ඇත.
කුලියාපිටිය- නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස විකාශනය වීම ….......
කුලියාපිටිය-නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.ආරම්භයේ දී කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 113 ක් වශයෙන් පැවති අතර පරිපාලන පහසුව සදහා කුලියාපිටිය - බටහිර හා කුලියාපිටිය-නැගෙනහිර වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට බෙදා වෙන් කරන ලදී. 1990 දශකයේ නක්කාවත්ත ජාතික පාසලට අයත් භූමි භාගයක කුලියාපිටිය-බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් ලෙස මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත විය.
එවකට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක ආචාර්යය රිචර්ඩ් පතිරණ මැතිතුමාගේ උදාර සංකල්පයක් මත ජනතා පරමාධිපත්‍යට මුල් තැන දෙමින් පරිපාලනය ජනතාව අතරට ගෙන යාමේ උදාර කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ප්‍රාදේශීය මහලේකම් කාර්යාල පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ දෙමහල් ගොඩනැගිල්ලක් සාදවා අංග සම්පූර්ණ කාර්යය මණ්ඩලයක් සහිතව වර්ෂ 2001 ක් වූ මැයි මස 18 වන දින ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයක් වශයෙන් ක්‍රිඩා හා සංචාරක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ගේ සුරතින් මෙම කාර්යාලය විවෘත කරන ලදී.
මෙහි ආරම්භක ප්‍රාදේශීය ලේකම් වරයා වන්නේ ආර්.ඒ.බී.පී.රූපසිංහ මහතා වන අතර දැනට ප්‍රාදේශීය ලේකම් වරුන් 11 දෙනෙකු විසින් මෙහි රාජකාරි කටයුතු සිදුකර ඇත.
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම | පරිපාලන කාලය | |
|
ආර්.ඒ.බී.පී. රූපසිංහ |
1990 | |
|
ඒ.පී.කේ.නෙළුම්දෙනිය |
1990 අගොස්තු |
|
|
චන්ද්‍රා ඒකනායක |
1991 ඔක්තොම්බර් |
|
|
ඩී.එම්.ජී..බී. දසනායක |
1991 දෙසැම්බර් |
|
|
එච්.එම්.. මැතනන්ද නිලමේ |
1992 මාර්තු |
|
|
ඒ..වී. අමරසිරි |
1992 අගොස්තු |
|
|
ඒ.ඩබ්ලිව්. අබේසේකර |
1998 -ජූනි |
|
|
ඒ.ඩී. අමරසිරි |
2003 මාරුතු |
|
|
ආර්.ඒ.බී.පී.. රූපසිංහ |
2007 අගොස්තු |
|
|
එච්.එල්.එස්. විජේසිංහ |
2008 අගොස්තු |
|
|
ඩී.එච්.එම්.එන්.පී.ඩී. දසනායක ඩී.පී.එස්. කුමාර |
2017 -2020 2021-2025 |
|
|
ඩබිලිව තිලිණි නිසංසලා සිල්වා |
2025 සිට අද දක්වා |
















